ළමා හිංසනයට මගපාදන වැරදි මතවාදයෙන් වසන්ව ඇති සත්‍ය දකිමු…

ළමා හිංසනය හා බැදි මිත්‍යාවෙන් මිදෙමු.

Written by: Ashinsani Fernando, Faculty of Medicine, University of Colombo

ළමා හිංසනය යනුවෙන් සලකනු ලබන්නේ චේතනිකව හෝ අචේතනිකව දෙමාපියන් හෝ වැඩිහිටියකුගේ විසින් ළමයාට සිදුකරන ඕනෑම හානියක්(තුවාල, මරණ, මානසික හානි), හානි කිරීමට තැත් කිරීමක් හෝ හානි කරන බවට කරන තර්ජනයක් හෝ එවැනි ක්‍රියා මාලාවකි.

අප සමාජය තුළ ළමා අපයෝජනයන් හා නොසලකා හැරීම් හිස ඔසවමින් තිබෙන යුගයක නොයෙකුත් මිත්‍යාවන්ගෙන් සමාජයේ දෑස් වැසී පැවතීම කණගාටුවට කරුණකි. සමාජයේ පවතින මෙවන් මිත්‍යා මතවාද දෙනු ලබන වැරදි පණිවිඩයන් තුළ අපරාධ වල දරුණුබව හා කුරිරුබව සැගව ඇත. එසේම අපරාධකරුවන් මෙම වැරැදි මතයන් නිසා තවමත් නිදැල්ලේ සිටී. ළමා පරපුර ආරක්ෂා කරනුවස් මිත්‍යාවෙන් වැසී ඇති දෑස් විවර කර මෙහි ඇති සත්‍යතාව විවෘත මනසකින් බලමු.

#1මිත්‍යාව:-අපචාරයට ලක්වන්නේ කුඩා ළමුන් පමණි.

සත්‍යය:-

කුඩා දරුවන්, ළමුන් මෙන්ම නවයොවුන් වියේ වැඩිහිටි දරුවන්ද අපයෝජනයට ලක් වේ. අපයෝජකයා ඔවුන්ගේ මව හෝ පියා හෝ රැකබලාගන්නකු වන විටක යොවුන් වියේ දරුවන්ට එම වැඩිහිටියාට විරුද්ධවීමට හැකියාවක් නැත. එසේ වන්නේ ඔවුන් දැඩි ලෙස එම වැඩිහිටියා විශ්වාස කරන බැවිනි.

දරුණු වචන භාවිතය හෝ ලිංගික, කායික අපයෝජනයන් යනාදී කුමන අයුරක අපයෝජනයක් වුවද එය කුඩා දරුවන්ටසේම නවයොවුන් වියේ වැඩිහිටි දරුවන්ටත් එක හා සමානව බලපායි.

#2මිත්‍යාව:-ළමයෙකු ආරක්ෂාව පතා අපයෝජන සිද්ධිය පිළිබඳව නිසි බලධාරීන් දැනුවත් කලහොත් එම ළමයාව පවුලෙන් ඉවත් කරයි.

සත්‍යය:-

එය එසේ වන්නේ නැත. නිවසතුළදී ළමයා අනාරක්ෂිත නම්, එම ළමයාගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, සුබසාධන සැලසීමටත් බලධාරීන් කටයුතු කරයි

#3මිත්‍යාව:-මගේත්,මගේ යයහළුවන්ගේත් ධනවත් පවුල්වල අපයෝජන හා නොසලකාහැරීම් සිදුනොවේ.

සත්‍යය:-

සමාජයට සියල්ල ඇතිමෙන් පෙනෙන පවුල්වල පෙනෙන අයුරින්ම කතාව සුන්දර නොවිය හැක. අපයෝජනය හා නොසලකා හැරීම සිදුවන්නේ දුප්පත් පවුල්වල හෝ අයහපත් අසල්වැසියන් සිටින ප්‍රදේශවලම පමණක් නොවේ. මෙය ජන වර්ගය, ආර්ථික තත්ත්වය, පවුල් ප්‍රමාණය , අධ්‍යාපනය, සංස්කෘතිය අභිබවායන්නකි. එසේම ළමයාට හානිකරන පුද්ගලයා ඕනෑම ආකාරයක රැකියාවක් කරන, ඕනම පුද්ගල පසුබිමක්, සංස්කෘතියක්, ආගමක් සහිත අයෙකු වියහැක.

#4මිත්‍යාව:- අපයෝජනයට ලක්වන ළමයා අනාගතයේදී අනිවාර්යයෙන් අපයෝජකයෙකු වන්නේය.

සත්‍යය:-

අපයෝජනයට ලක්වූ දරුවන් වැඩිහිටියන් වූ පසු දැනුවත්ව හෝ නොදැනුවත්ව අපයෝජනයක් සිදුකිරීමට වැඩි ඉඩකඩක් ඇතිබව සත්‍යයකි. එසේම අනෙක් අතට බොහෝ වැඩිහිටියන් තමන් අත්විඳි දෙයින් තම දරුවන් ආරක්ෂා කරගැනීමටත් විශිෂ්ඨ දෙමව්පියන් බවට පත්වීමටත් ප්‍රබල පෙළඹවීමක් ඇත.

#5 මිත්‍යාව:- ළමා අපයෝජනයක් වන්නේ එහිදී ළමයාට කායික හිංසනයක් සිදුවුවහොත් පමණි.

සත්‍යය:-

කායික හිංසනය යනු ළමා අපයෝජනයේ එක් පැතිකඩක් පමණි. නොසලකා හැරීම, ලිංගික හා මානසික අපයෝජනය නිසා වන හානිය, කායික හිංසනය නිසාවන හානිය තරම්ම වේ. සෑම විටම ඒවායේ ඇති අපැහැදිලිතාවය නිසා අන්‍යයන් මැදිහත්වීමට ඇති ප්‍රවණතාවය අඩුය. තවද මවක් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම, නිවස තුල මත්ද්‍රව්‍ය අනිසි භාවිතය, පවුලේ සාමාජිකයෙකු මානසික රෝගයකින් පෙළීම, දෙමාපියන් වෙන්වී සිටීම/දික්කසාද වීම වැනි පවුල් ඉතිහාසයක් තිබිම, දීර්ඝ කාලීන බලපෑම් ඇතිකරන අතර අපයෝජනය හා නොසලකා හැරීමට සමාන බලපෑම් ඇතිකරයි.

#6මිත්‍යාව:-අපයෝජනයට ලක්වූ දරුවාට දොස් පවරයි.

සත්‍යය:-

කිසිම විටක දරුවෙකු අපයෝජනයට වගකිවයුතු නොවන අතර ළමයා කුමන අයුරින් හැසිරුණද දරුවෙකුට හානිකිරිමට වැඩිහිටියන්ට අයිතියක් නොමැත. වැඩිහිටියන් තම හැසිරීම පිළිබඳ වගකිවයුතුය.

#7මිත්‍යාව:- ළමා අපයෝජකයන් බොහෝ දෙනෙක් ආගන්තුකයන්ය.

සත්‍යය:-

නාඳුනන අයද ළමයෙකුව අපයෝජනය කළද, අපරාධකරුවන්ගෙන් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් පවුලේ සාමාජිකයින්ගෙන් දරුවා දන්නා සහ විශ්වාස කරන කෙනෙකු වේ.

#8මිත්‍යාව:- ළමයාට දඬුවම්දීම අපයෝජනයක් නොවේ.

සත්‍යය:-

ළමයෙකු වරදක් කලවිට එය පෙන්වා දියයුතුය. නමුත් දඬුවම්කිරීම ළමයා නිවැරදි මගට ගැනීමට ඇති ක්‍රමයක් නොවේ. ළමයාට ශාරීරිකව දෙනු ලබන දඬුවම්වල ප්‍රතිඵලයක් ලෙස ළමයා හිංසාවට, පීඩාවට පත් වන්නේ නම් එය ශාරීරික හිංසනය යටතට ගැනේ. දඬුවම් නොකොට වරද පෙන්වාදීමේ බොහෝ ක්‍රම ඇත.

#9මිත්‍යාව:-ළමා හිංසනයේ සහ නොසලකා හැරීමේ දිගුකාලීන බලපෑම් නැත.

සත්‍යය:-

නොසලකා හැරීමට හා හිංසාවට පත් ළමයෙකු පසුකාලීනව අපරාධ වලට යොමුවීමේ සම්භාවිතාව 9 ගුණයකින් ඉහලයි. (අපයෝජයට ලක් වන සියලු දෙනාම මෙලෙස යොමුවන්නේ ද නැත.)

එපමණක් නොව ලමයා එම සිද්ධිය නැවත නැවත සිහිවීම, සිහිනයෙන් බයවීම, ආක්‍රමණශීලී සිතුවිලි වැනි මානසික බලපෑම් වලින්ද පීඩාවට පත්වේ.

එසේ පීඩාවට පත් වූවෙකු එයින් මුදවා ගැනීමට, උපදේශන ලබාදීම, නීතිමය වියදම්, වෛද්‍ය ප්‍රතිකාර යනාදිය ඉහළ ආර්ථික පිරිවැයකට හේතුවේ.

#10මිත්‍යාව:-අපයෝජනයන් පිළිබඳ ළමයා අසත්‍ය දේ පවසයි

සත්‍යය:-

සාමාන්‍යයෙන් ළමුන් බොරු නොපවසයි. තමන්ට මුහුණපෑමට සිදුවූ අප්‍රසන්න සිදුවීම් පිළිබඳ බොරු දේ පැවසීම ඉතා දුර්ලභයි.

ළමයෙකුට තර්ජනය කර හෝ බියවද්දා සිදුවූ දෙය සැඟවීමට කටයුතුකිරීම නිසා ළමයා පවසන කරුණු වෙනස්වීමට හැකියාවඇත. තමා මුහුණපෑ අත්දැකීම් කිසිවෙකුට හෝ පැවසීම නිසා තමාව පවුලෙන් ඉවත්කර දමාවි යන අනිසි බිය නිසාද ළමයා සිදුවූ සියල්ල වසන් කළ හැක.

#11මිත්‍යාව:-සමාජයේ සිදුවන සියළුම ළමා අපයෝජන සිදුවීම් අදාළ අංශ/බලධාරීන් වෙත වාර්තාවේ.

සත්‍යය:-

බොහෝදෙනා ළමා අපයෝජන හා නොසලකා හැරීම් සිදුවීම් අවතක්සේරු කරන අතර ඒ හේතුවෙන් ඒවා නිසි බලධාරීන් වෙත පැමිණිලි නොවී සැඟවයයි. මේනිසා වාර්තාවන පැමිණිලි හා සැසඳූකල වාර්ථා නොවූ සිද්ධීන් අතිශය ඉහළයි. සමාජය නීතිමය හා ආකල්පමය වශයෙන් දැනුවත් කිරීමෙන් පැමිණිලිකිරීම පහසුවන අතරම, එම සිදුවීම් විමර්ශනයේදී ළමයාට සිදුවන බලපෑම අවමවන පරිදි එම කටයුතු සිදුකිරීමටත් ඉඩසැලසේ.

#12මිත්‍යාව:- සියළුම ළමුන් තමාට සිදුවන හිංසනයට විරුද්ධ වියයුතු බව දැනසිටියි.

සත්‍යය:-

තමාට වන අතවර, හිංසා පීඩාවන්ට විරුද්ධ වියයුතුබව බොහෝ ළමුන් කොහෙත්ම දන්නේ නැත. ළමුන් දස දෙනෙකුගෙන් එක් අයෙක් පමණක් හිංසනයට විරුද්ධ විය යුතු බව දැන සිටියි. බහුතරයකගේ නොදැනුවත්භාවය නිසා මෙවන් සිදුවීම් වසන්වී යාමට හැක. සමහර ළමුන් තමාට අපයෝජනයක් වී ඇතිබවද දන්නේ නැත. එමෙන්ම සිදුව ඇතිදේ හෙලිදරව් කිරීමට ඇති තර්ජන මෙන්ම, තමා පවසන දේ පිලිබඳ වැඩිහිටියන් විශ්වාස නොකරාවි යන බිය නිසාද, සිදුව ඇති දෙය වැඩිහිටියෙකුට කියාගත නොහැකි වීම නිසාද දරුවන් මෙවන් සිදුවීම් නොපවසයි. එබැවින් හිංසනයට විරුද්ධවීම, එයට විරුද්ධව කතා කිරීම හා ආරක්ෂාවීම අතිශයින් වැදගත් වේ. අපයෝජකයා පිළිබඳ කරුණු හා එවන් සිදුවීම් පිළිබඳව විශ්වාසදායක වැඩිහිටියෙකුට පැවසීමේ වරදක් නැතිබව ළමා පරපුර දැනුවත් කළ යුතුය.

#13මිත්‍යාව:-ළමා අපයෝජනය, හිංසනය වැලැක්වීම හා සමාජයෙන් එය මුලිනුපුටා දැමීමට මා හට කිසිවක් කල නොහැක.

සත්‍යය:-

ළමයෙකු අපයෝජනයට හෝ නොසලකා හැරීමට ලක්වේ යැයි ඔබට සැක සිතෙන්නේ නම්, එයට විරුද්ධව කතාකිරීමෙන් ඔබට ලෝකයක් වෙනස් කළ හැක. ආරක්ෂිතව සිටීමට ඔබට වගේම ළමුන්ටද සමාජමය අයිතියක් ඇත. දරුවෙකු හිංසාවට, පීඩාවට පත් වන්නේයැයි ඔබට සැක සිතෙන්නේ නම් ඔබට ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ වගකිව හැකි බලධාරියෙකු හෝ ආයතනයකට පැමිණිලි කලහැක.

1929 යන පැය විසිහතර පුරා ක්‍රියාත්මක දුරකථන අංකයෙන් ඔබට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය අමතා පැමිණිලිකිරීමටත් උපදෙස් ලබාගැනීමටත් හැකිය. නොඑසේ නම් ලඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කළහැක.

බියවීම, නොදැනුවත්භාවය හා නොසැලකිල්ල දුරලා ශක්තිමත්වී, දැනුවත්වී, නිසි පියවර ගැනීමෙන් ළමයෙකුට යහපත් හෙට දවසක් උදාකල හැක.

#14මිත්‍යාව:- කැලැල්, තුවාල පෙනෙන්නේ නම් පමණක් එය අපයෝජනයකි.

සත්‍යය:-

ළමා අපයෝජනයකදී එය කායික, ලිංගික, චිත්තවේගීය හිංසනයක් හෝ නොසලකා හැරීමක් වියහැක. කායිකව සිදුවන හිංසනයේද පිටතට පෙනෙන සහ නොපෙනෙන කැලැල් පවතී. සියලුම ආකාරයන්ගෙන වන මානසික කැලැල් ළමයාට දිගුකාලීන බලපෑම් ඇතිකරයි. එසේම මෙම සිද්ධීන්ගෙන් හතරෙන් එකක් නොසලකා හැරීම් නිසා සිදුවන ඒවාය. එහිදී පැහැදිලි සාක්ෂි ඉතුරු වන්නේ නැත.

#15මිත්‍යාව:-ලිංගික අතවරයට ලක්වූ ළමයා ඒ පිළිබඳව පැමිණිලි කළහොත් ඇයට එම අපරාධය කළ පුද්ගලයා සමග විවාහවීමට සිදුවේ/ එසේම සියළුම තොරතුරු සමාජයට හෙළිදරව් කරයි.

සත්‍යය:-

ලිංගික අපයෝජකයා සමග විවාහවීමට කොහෙත්ම අවශ්‍ය නැත! එමෙන්ම පැමිණිල්ල විමර්ෂණයේදීද අධිකරණ හමුවේදි උවද පුද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි ජූරි සභාවකට අදාල තොරතුරු යොමු කරන අතර, එබැවින් එම තොරතුරු ප්‍රසිද්ධ කිරීමක් සිදුවන්නේ නැත.

#16මිත්‍යාව:-ළමානිවාස, පරිවාසවල සිටින ළමුන් පමණක් අපයෝජනයට ලක්ව ඇත.

සත්‍යය:-

ළමා අපයෝජන සිද්ධීන් බහුලවම වාර්තා වන්නේ නිවසේදී, පාසලේදී, අධ්‍යාපනික ආයතනවලදී හා බස්රථයේදී හෝ දුම්රියේදී වැනි ප්‍රවාහන මාධ්‍යවල ගමන්කිරීමේදීය.

ළමානිවාසවල, පරිවාසවල සිටින ළමුන් දෙස පටු කෝණයකින් නොබැලිය යුතුය.

#17මිත්‍යාව:-ළමා අපයෝජනයේ යෙදෙන්නේ පිරිමි පුද්ගලයින් පමණි.

සත්‍යය:-

ලිංගික අපයෝජනය ගත්කළ පිරිමි පුද්ගලයින් ඒ සඳහා වැඩි ප්‍රවණතාවයක් පෙන්වුවද, මෙවන් අපයෝජනයන් සිදුකරන කාන්‍තාවන් පිළිබඳවද පැමිණිලි බොහොමයක් වාර්තාවේ. ළමා හිංසනය ලිංගිකත්වය මත පමණක් පදනම් නොවූවකි. ශාරීරික, මානසික හා චිත්තවේගීය හිංසනය හා නොසලකා හැරීම් කාන්තා, පිරිමි දෙපාර්ශවය විසින්ම සිදුකරයි.

#18මිත්‍යාව:-අතවරයට ලක්වන්නේ ගැහැනු ළමුන් පමණි.

සත්‍යය:-

අප සිතනවාට වඩා පිරිමි ළමුන්ද විශාල පරිමාණයෙන් අතවරයට, අපයෝජනයට ලක් වුවද සමාජය විසින්ම එම සිද්ධීන් යටපත් කරනු ලබයි. පිරිමි ළමුන් එවැනි සිදුවිම් පිළිබඳව පැමිණිලි නොකල යුතුයැයි යන පුහු සමාජ මතය නිසාවෙන් මෙන්ම, ගැහැනු ළමුන්ට සිදුවෙනවා මෙන් අනවශ්‍ය ගැබ්ගැනීම් වැනි බරපතල හානි නොවනවා යන මතය නිසා සමාජයේ නොසලකා හැරීමටද ලක්වේ. නමුත් ගැහැණු පිරිමි දෙපාර්ශවයටම වන මෙවැනි අතවර නිසා කායික, මානසික හා සමාජයමය බලපෑම් සිදුවේ.

සමාජය හමුවේ මෙවැනි මිත්‍යා මතිමතාන්තර බොහොමයක් තිබියහැක. නමුත් අවම වශයෙන් මෙවැනි වැරැදිමත සමාජයට හෙලිදරව් කිරීමෙ වගකීමක් අපහට ඇත. සෑම ළමයෙකුටම සාමකාමී සුරක්ෂිත තැනක ජීවත්වීමේ අයිතියක් ඇත. එවන් වාතාවරණයක් සකසාදීම අපගේ යුතුකමකි. ළමා හිංසනයට එරෙහිව හඩ නැගීමට අපත් සමග එක් වන්න.

සටහන:- ආශිංසනී කෞශිකා ප්‍රනාන්දු.

References

  1. https://www.childhelp.org/blog/child-abuse-myths-misconceptions-prevention/
  2. https://www.qld.gov.au/community/getting-support-health-social-issue/support-victims-abuse/child-abuse/what-is-child-abuse/child-abuse-myths
  3. https://www.helpguide.org/articles/abuse/child-abuse-and-neglect.htm
  4. https://www.blueknot.org.au/Resources/Information/Understanding-abuse-and-trauma/What-is-child-abuse-/Myths-about-child-abuse
  5. http://www.cvac.us/uploads/8/0/1/7/8017311/myths_and_facts_about_child_abuse.pdf
  6. https://www.lankanewsweb.net/tamil/94-featured-news/48867-2018-ජාතික-ළමා-ආරක්ෂණ-අධිකාරියට-වාර්තා-වූ-ළමා-හිංසන-පැමිණිලි-සංඛ්‍යාව-9512-

Leave a Comment

Your email address will not be published. Required fields are marked *