හෙට දිනයේ පිපෙන්නට වෙර දරන මල් කැලුළු රැක ගැනීමට නීතිය නැමැති අවිය නිසි ලෙස භාවිත කරමු.

ළමා අපයෝජනය සම්බන්ධ නීතිමය පසුබිම පිළිබඳ දැනුවත් වෙමු!

Written by: Chalitha Warshavithana, Faculty of Medicine, University of Colombo

නීතිමය වශයෙන් ළමයින් හට ආරක්ෂාව සැපයීමට මෙන්ම ළමා අයිතිවාසිකම් සුරැකීමටද “ළමයා” යනු කවුරුදැයි හැඳින්වීම අත්‍යාවශ්‍ය වේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු 14 ට අඩු ඕනෑම අයෙක් ළමයෙකු ලෙස සලකනු ලබන අතර, වයස අවුරුදු 14ත් 16ත් අතර ඕනෑම අයෙකු තරුණයෙකු ලෙසද සලකනු ලැබේ. වයස අවුරුදු 16 ට වැඩි ඕනෑම අයෙකු වැඩිහිටියෙකු ලෙස සලකනු ලබයි.

ළමා අපයෝජනය යනු දෙමව්පියන් හෝ රැකබලාගන්නවුන් විසින් සිතා මතා හෝ නොදැනුවත්ව ළමයෙකුට හානිවන, මරණය ඇතිවන, චිත්තවේගීය හානියක් සිදුවන හෝ දැඩි හානියක් සිදුවීමේ අවධානමක් ඇති කරනු ලබන ක්‍රියාවක් සිදුකිරීමයි. ළමා අපයෝජනය සිදුවන ආකාර ප්‍රධාන වශයෙන් 4කි. ඒවා නම්, ශාරීරික අපයෝජනය, ලිංගික අපයෝජනය, මානසික හෝ චිත්තවේගීය අපයෝජනය, නොසලකා හැරීම යන ආකාර 4 ය. සාමන්‍යයෙන් මෙම ආකාර තනිව සිදුවනවාට වැඩියෙන් විවිධ ආකාර දෙකක් හෝ කිහිපයක සංයෝජනයක් ලෙස සිදුවීමට වැඩි ඉඩකඩක් ඇත.

ශ්‍රී ලාංකික රජය විසින් ළමයෙකු සිය ළමා කාලය ගත කරනු ලබන තත්ත්වය එම ළමයා වැඩිහිටියෙකු ලෙස ගත කරන ජීවිතයට සැලකිය යුතු දායකත්වයක් දක්වන බව වටහාගෙන ඇති අතර, ළමයෙකුගේ ළමා කාලය ගෞරවනීය, වටිනා සහ ස්වාධීන ලෙස ගත කිරීමට අවශ්‍ය නීතිමය විධිවිධාන සලසා ඇත. මෙසේ පනවා ඇති නීතිමය විධිවිධාන ළමුන්ගේ සුභසාදනය, ආරක්ෂාව සහ දියුණුව සඳහා ක්‍රියාකරනු ලබන සියළුම සංවිධාන සහ ඒවායේ ක්‍රියාකරුවන් අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම මත පදනම් වී තිබේ.

ළමා අපයෝජනය පිටු දැකීමෙහි ලා වන නීතිමය පිළිවෙත් ළමුන් ගේ යුතුකම් සහ අයිතිවාසිකම් පමණක් නොව, ඔවුන්ගේ යහ පැවැත්ම සඳනා වන සාමාන්‍ය රැකවරණය, විධිමත් අධ්‍යාපනය ලැබීම, නිර්මාණශීලී බව සහ සමාජයීය ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීම යනාදී සියලුම සාධක මත අවධානය යොමු කළ යුතු වේ.

ළමා ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වී ඇති ප්‍රධානතම අධිකාරිය වන්නේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියයි. 50 වන පනත යටතේ 1998 වසරේදී ස්ථාපිත මෙය ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමු කරයි. ඒ නම්, ළමුන් අපයෝජනය වීමෙන් වැළැක්වීම සහ අපයෝජනයට ලක්වූ දරුවන් හට ප්‍රතිකාර කිරීම යන කරුණු ද්විත්වයයි.

ජාතික ළමා සංරක්ෂණ අධිකාරිය විසින් සියළුම ආකාරයන්හි ළමා අපයෝජන සහ ඒ සඳහා සම්බන්ධ සියලුම කරුණු පිළිබඳ අවධානය යොමු කරනු ලබයි.

මෙම ක්‍රියාවලිය සඳහා විවිධ අංශ වල සහාය අවශ්‍ය වන බැවින්, මෙය බහු අංශ සාමජිකත්වයක් සහිතව ප්‍රතිස්ථාපනය කෙරිණ. එහිදී ළමා වෛද්‍ය විශේෂඥයන්, මනෝ වෛද්‍යවරුන්, අධිකරණ වෛද්‍යවරුන් සහ මනෝ විද්‍යාඥයන් මෙම ආයතනය සමඟ එක්ව කටයුතු කරනු ලබයි. තවද, පරිවාස හා ළමා ආරක්ෂණ කොමසාරිස්, කම්කරු කොමසාරිස් සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාතික අධීක්ෂණ කමිටුවේ සභාපති යන නිලධාරීන් මෙහි සාමාජිකයන් ලෙස ක්‍රියා කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණ අධිකාරිය එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිඹඳ සම්මුතිය විසින් හඳුන්වාදෙනු ලැබූ මූලධර්ම වලට අනුව ක්‍රියාත්මක වේ.

ළමා අපයෝජනය, ළමා හිංසනය, ප්‍රචණ්ඩකාරී හැසිරීම් සහ ළමුන් නොසලකා හැරීම් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ වාර්තා වන අතර එය බොහෝවිට ජාතිය, ආගම සමාජ තත්ත්වය සහ ආගම මත වෙනස් නොවේ. නමුත් අපයෝජන සහ ළමා හිංසනය සිදුවීමේ අවධානම දුප්පත්කම හා පවුල්වල ගැටුම් වැඩිවත්ම වැඩිවේ. මීට අමතරව විරැකියාව, මත්ද්‍රව්‍ය භාවිතය, ආබාධිත බව සහ මව හෝ පියා පමණක් සමඟ දරුවා සිටීම ළමා අපයෝජන සිදුවීමේ අවධානම වැඩි කරයි. මෙවන් තත්ත්ව යටතේදී දරුවෙකුගේ ආරක්ෂාව තහවුරු කිරීමේ සාර්ථකම ක්‍රමවේදය රැකවරණය සැලසීමයි. සාමාන්‍ය රැකවරණයක් ප්‍රමාණවත් නොවන අවස්ථා වලදී විශේෂ නීතිමය රැකවරණයක් දරුවාට ලබාදීම යෝග්‍ය වේ. එසේ නොවුවහොත් දරුවා දැඩි ශාරීරික හානි හෝ සමහරවිට මරණයට වුවද මුහුණදීමට සිදුවේ. ජීවිතය සුරැකුනද, එම දරුවාගේ ඉදිරි ජීවිතය බරපතල ශාරීරික, ලිංගික හෝ චිත්තවේගීය හානි වලින් පීඩා විඳීමට සිදුවේ. මීට අමතරව ඉගෙනීමේ ධාරිතාව අඩුවීම, වර්ධනය අඩාල වීම සහ පෞරුෂය සම්බන්ධ ගැටළු එහි අනෙකුත් අවධානම් ප්‍රථිඵලය.

ළමා අපයෝජනක් සිදුවූ විට බොහෝවිට නීතිය ක්‍රියාත්මක කිරීම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම පුනුරුත්ථාපනය සහ නැවත සමාජගත කිරීම යනාදී ක්‍රියාවලි සඳහා දීර්ඝ කාලයක් ගතවේ. මෙනිසා අපයෝජනය දිගටම සිදුවීමට ඉඩක් ඇති අතර අපයෝජනයක් සිදු වූ පසු අදාල නීතිමය සහ අනෙකුත් සේවාවන් ලබා ගැනීමට සෑම විටම සෑම දෙනාටම හැකියාවක් නොලැබේ.

එබැවින් මෙම සේවාවන් ලබා ගැනීම සඳහා දරුවන්ට ප්‍රවේශ වීමේ හැකියාව සහ පහසුව ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකාව තුළ ළමා ආරක්ෂණය සඳහා වූ ජාතික ප්‍රතිපත්ති රාමුව සලකා බලන විට එය මට්ටම් 4කින් සලකා බැලේ. එහි පළමු මට්ටම යටතට සියලුම ළමයින් ආවරණය වන පරිදි ඔවුන්ගේ සුරක්ෂිතතාව හා පූර්ණ සංවර්ධනය පිණිස සිදු කරනු ලබන වැඩසටහන්, ප්‍රතිපත්ති, ප්‍රමිතීන් සහ සේවාවන් අයත් වේ. පවුල සහ ප්‍රජාව මට්ටමින් පවතින ප්‍රමුඛ සමාජ-ආර්ථික හා සංස්කෘතික හේතූන් හා අවධානම් තත්තවයන් ආමන්ත්‍රණය කිරීමට මෙන්ම නිරාවරණය සඳහාද වූ සියලු ප්‍රතිපත්ති, වැඩසටහන්, ප්‍රමිතීන් හා සේවාවන් දෙවන මට්ටමට අයත් වේ. තෙවන මට්ටම, අවදානම්, අනාරක්ෂිත ආන්තික හා ඇස නොගැටෙන ළමයින් හා පවුල් සඳහා ඉලක්කගත සේවාවන්ගෙන් සමන්විත වන අතර මේ සඳහා අපයෝජනයට ලක්වූ දරුවන් මෙන්ම එයින් මුදවාගත් දරුවන්ද අයත් වේ. සිව්වන මට්ටම යනු අපයෝජනයට ලක්වූ දරුවන් සහ ඉන් මුදවාගත් දරුවන් ඉලක්ක කොටගෙන ක්‍රියාත්මක කරනු ලබන නීතිමය සේවාවන් ඇතුළත් මට්ටම වේ.

ළමා අපයෝජනයක් සිදු වන බවට තොරතුරක් ලද විගසම අදාල අංශ වෙත දැනුවත් කිරීම අපයෝජනය වැළැක්වීමේ කාර්‍යක්ෂමතාව වැඩිකරයි. එසේ හැකි විගස සහ නිවැරදි ලෙස එවැනි සිද්ධියක් දැනුම් දීමේ පියවර කිහිපයකි. අදාල පැමිණිල්ල ළඟම ඇති පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්‍යාංශය වෙත දුරකතන ඇමතුමක්, ලියුමක් හෝ අදාල ස්ථානය වෙත ගමන් කර ඍජුව වුවද දැනුම් දිය හැක. එවිට එහි සිටින පොලිස් නිලධාරියා විසින් එම පැමිණිල්ල සටහන් කරගනු ලැබේ. අපයෝජනයට ලක්වූ දරුවා තුවාල ලබා ඇත්නම් පොලිස් නිලධාරියා විසින් ඔහුව ළඟම ඇති රෝහල වෙත ප්‍රථමයෙන් ඇතුළත් කළ යුතු වන අතර එම රෝහලේ කාර්‍යයේ නියුතු අධිකරණ වෛද්‍යවරයෙකු විසින් ළමයාව පරීක්ෂා කර බැලිය යුතුය. එහිදී එම දරුවා අපයෝජනයට ලක්වී ඇති බවට තහවුරු වුවහොත් අධිකරණ වෛද්‍යවරයා විසින් නීතිමය වෛද්‍ය පරීක්ෂණ පොරෝමය පිරවිය යුතු වේ. අදාල පොලිස් කාර්‍යමණ්ඩලය විසින් පරීක්ෂණ සිදු කළ යුතු වන අතර සාක්ෂි ලද වහාම සැකකරුවන් අත්තඩංගුවට ගනු ලබයි. සැකකරුවන් පැය 24ක් ඇතුළත අධිකරණයට යොමු කළ යුතු වන අතර භාරකරුවෙකු නොමැති දරුවන් හා භාරකරුවන් විසින් අවසර දෙනු ලබන දරුවන්ව පුනුරුත්තාපන කඳවුරු වෙතට යොමු කෙරේ.

ළමා අපයෝජනක් සම්බන්ධ නඩුවක් ක්‍රියාත්මක කිරීමේදී එම දරුවාගේ නම, ආදී තොරතුරු ද, ඡායාරූප ආදිය පුවත්පත් වල ඵල කිරිම තහනම් වේ. නඩුව අවසන් වන තුරු දරුවා ආරක්ෂිත ස්ථානයක රඳවා තැබීමට අධිකරණයට බලය පැවරී ඇත.

ළමා අපයෝජනය සිදුකරන්නන්, අනුබල දෙන්නන් සහ ළමයින් පොලඹවන්නන් අපරාධකරුවන් ලෙස සලකනු ලබන අතර ඔවුන් හට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක දණ්ඩ නීති සංග්‍රහය සහ අධිකරණ අමාත්‍යාංශය විසින් පනවා ඇති නීති අනුව දඬුවම් ලබා දෙනු ලබයි.

References

යොමුව :-

  1. ජාතික ලමා ආරක්ෂණ පනත (National Child protection Authority Act, no 50 of 1998)
  2. අධිකරණ අමාත්‍යාංශය (lawnets.lk)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *