හෙට දිනයේ පූදින්නට පෙරමං බලා සිටින මල් කැකුලුවන් දරුවන් කොවිඩ් සමය තුළ විනාශ වීමට ඇති ඉඩකඩ අසුරාලමු

(Written by Nimasha Sankalani, Faculty of Medicine, University of Colombo)

කොවිඩ් සමය තුළ ළමා අපයොජන සිදුවීමේ ප්‍රවණතාව

සිත්තරෙකු තම සිතුවමක් වර්ණගන්වන්නේ කෙසේද එ ආකාරයෙන්ම සියුම්ව¸මනා සිහියෙන් යුක්තව මලක් වැනි සියුමැලි දරුවෙකු සමාජයට බාර කරමින් හෙට ලොව දිනුමට උර දීම වැඩිහිටියන් ලෙස අප සතු වගකීමකි.එය එසේ විය යුතු පසුබිමක වගකීම් හොබවන දෑතින්ම සිතාමතා හෝ නොදැනුවත්ව දරුවෙකුගේ අනාගතය අඳුරු කිරීම මහත් අභාග්‍ය සම්පන්න තත්වයකි. දරුවෙකුට මානසිකව හා චිත්තවේගීව හිංසා කිරීම¸ ශාරීරිකව වදහිංසා කිරීම¸ ලිංගික අපයෝජනයට ලක් කිරීම සහ නොසලකා හැරීම වැනි ක්‍රියාකාරකම් මගින් දරුවාට ඔවුනගේ ළමා කාලයේ පමණක් නොව ඉදිරි මුලු ජීවිතයේම වටිනාකම අහිමි කරයි.

මෙම ළමා අපයෝජන ක්‍රියා දිගින් දිගටම වර්ධනය වන තත්වයක් ශ්‍රී ලංකාව තුල පමණක් නොව ලෝකය පුරාම දිගුකාලයක සිට සිදුවෙමින් පවතී. ගෝලීය වශයෙන් පැතිර යන කොවිඩ් වසංගතය සමග මෙම සමයේ දරුවන්ට මෙලෙස විඳීමට සිදුවන හිංසනයන්ගේ වැඩි වීමක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාව තුල ලමා අපචාර ක්‍රියා සමස්ථයක් ලෙස 40% ක පමණ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්‍ය මුදිත විදානපතිරණ මහතා පවසයි. එමෙන්ම මාර්තු 16 වනදා සිට ජුනි මස 16 වනදා දක්වා කාලය තුල ළමා අපයෝජන පැමිණිලි 3500 ලැබී ඇති අතර එම කාලය තුල දරුවන් 927 දෙනෙකු ඉතා දරුණු ලෙස වදහිංසාවලට ලක් වී ඇත.

කොවිඩ් වසංගත තත්වය පවතින සමයේ මෙලෙස බරපතල ලෙස සමාජ පිරිහීමකට ලක් වීමට ආසන්නතම හේතු සාධක වන්නේ රට සම්පූර්ණයෙන් වසා දැමීම (lock-down) සහ ඒ සමග ඇතිවූ අතුරු ප්‍රතිඵල වේ. මෙවැනි අවස්ථවකදී දරුවන් වැඩිපුරම රැ‍‌‌ෙඳන්නේ තම දෙමාපියන් හෝ රැකවරණය ලබා දෙන වැඩිහිටියන් සමගයි. නමුත් තවත් දරුවන් පිරිසකට එවැනි ආරක්ෂාකාරී පරිසරයක ජීවත් වීමට නොලැබුණු බව, කොවිඩ් සමය තුල වැඩි වූ ළමා අපචාර සිදුවීම්වලින් මොනවට පැහැදිලි වේ.

ඇඳිරිනීති සමය තුල එදිනෙදා රැකියාවල නිරත වෙමින් සිටි පිරිස රැකියා අහිමි වීමත් සමග නිවෙස්වලට සීමා වීම සහ පවුලේ ආර්ථික තත්වය බිඳ වැටීම සමග පවුල තුල මව පියා අතර ඇතිවන ගැටලු¸ මේ සමග වර්ධනය වන මානසික ආතතිය නිසා ඇතිවන ගැටලු සියල්ලක අතුරු ප්‍රතිඵලයක් ලෙස කුටුම්භය තුලදීම දරුවා හිංසනයට පීඩනයට ලක් විය හැක. දෙමාපියන් දරුවන් සමග ගත කිරීමට ලැබුණු කාලය වෙනදාට වඩා වැඩි වුවත් මව්පියන් කඩාවැටුණු ආර්ථිකය ගොඩනැගීමට කාර්‍යබහුල වීමත් සමග දරුවන්ව මාපියන්ට මගහැරීමේ ප්‍රවණතාව වැඩි වී ඇත. මෙවැනි තත්වයක් තුල දරුවන්¸ ඥාතී වැඩිහිටියන්ගෙන් මෙන්ම පිටස්තර වැඩිහිටියන් අතින් මානසික¸ ශාරීරික මෙන්ම ලිංගික අපයෝජනයන්ට ලක්වීමේ තත්වක් උදා වී ඇත. වැඩිහිටියන් ද නිදහසේ ගත කරන කාලය වැඩි වීමත් සමග ඔවුන්ගේ මානසික ආතතිය¸ පාළුව¸ කාන්සිය සංසිඳුවා ගැනීමේ ගොදුරු බවට අහිංසක දරුවන් පත්වීඇත. රට තුල හිස ඔසවන මත්ද්‍රව්‍ය උවදුරට නැඹුරු වූවන්ගේ මානසික විකෘතිතාවන් මුදුන්පමුණුවා ගැනීමට දරුවන් යොදාගැනීම්¸ දරුවන්ට අසභ්‍ය දර්ශන නැරඹීම සඳහා පෙලඹවීම් වැනි ක්‍රියාවලට දරුවෙකුගේ ළමා මනස සුනුවිසුණු කර දැමීමට ක්ෂණයකින් හැකියි. එමෙන්ම කොවිඩ් සමය තුල පවුලේ ආර්ථිකය කඩාවැටීම හේතුවෙන් ළමා ශ්‍රමිකයන් බිහි වීම ද වර්ධනය වී ඇත.

රට තුල ඇඳිරිනීතිය පවතින කාලයේ දරුවන්ගේ අධ්‍යාපනය නිසි පරිදි පවත්වාගෙන යාමට දුරස්ථ අධ්‍යාපන ක්‍රම හඳුන්වාදුනි. එම ක්‍රමය ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් වන අතර එය තවමත් ප්‍රායෝගික විසඳුමක් නොවන්නේ¸ තවමත් දියුණුවෙමින් පවතින රටක් වන ලංකාව වැනි රටක සම්පත් සමානව නොබෙදීයාම මෙන්ම සමාජය තුළ නව තාක්ෂණ උපකරණ ගැන සහ ඒවා භාවිතා කරන ආකාරය පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකමයි. මෙරටේ පමණක් නොව ගෝලීය තත්වයද මේ හා සමාන බව යුනිසෙෆ් සංවිධානය මගින් සිදුකළ සංගණනයන්වල ප්‍රතිඵල පෙන්වාදෙයි. උදාහරණයක් ලෙස, වසංගත තත්වය හේතුවෙන් පාසල් අධ්‍යාපනය නැවතුන දින සිට දරුවන් 10 දෙනෙකුගන් 8 දෙනෙකුට වඩා වැඩි පිරිසකට කිසිඳු අධ්‍යාපන අවස්ථාක් ලැබී නොමැත. ලංකාවේ මෙම ක්‍රමය තුළ එක් දරුවන් පිරිසකට දරාගත නොහැකි ප්‍රමාණයක වැඩ ප්‍රමාණයක් ලැබීමත් තවත් දරුවන් පිරිසකට සුළු හෝ අධ්‍යාපනයක් නොලැබී යාමත් නිසා මෙම දරුවන් දෙපිරිසම මානසිකව පීඩනයට ලක්වීම සිදුවෙයි. එමෙන්ම නිවසේ සිටම අධ්‍යාපන කටයුතු සිදුවන්නේ වැඩි වශයෙන්ම මාපියන්ගේ මගපෙන්වීම මතයි. එහිදී පුහුණු වූ ගුරුභවතෙක් සමග දරුවා අධ්‍යාපනය ලබන සාමකාමී වටපිටාවට වඩා බොහෝ සෙයින් වෙනස් වූ¸ තරවටු කිරීම්¸ තලාපෙලා දැමීම්¸ දරුවා මානසිකව පහතට දැමීම් වැනි අභියෝගවලට දරුවාට මුහුණ දීමට සිදුවිය හැක. එමෙන්ම නිවසේ සිටින වැඩිහිටියන්ගේ සාක්ෂරතාව සෑම නිවසකම සමාන නොවන නිසා දරුවාට නිවැරදිම අධ්‍යන කරුණු ලැබේද යන ප්‍රශ්නාර්ථය මතු වෙයි.

දරුවන් නව තාක්ෂණික උපකරණ¸ සාමාන්‍යය දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙකුගේ නිරීක්ෂණයකින් තොරව භාවිතයට ගැනීම අද සමාජයේ සුලබව දක්නට ලැබෙන දසුනකි. දරුවන් රැක බලාගන්නන් දරුවන් නිශ්ශබ්ද කර තැබීමේ පහසුම මාර්ගය ලෙස¸ ජංගම දුරකථනයක් ඔවුනතට පත් කර කිසිඳු ආකාරයක අවධානයක් ලබා නොදෙමින් කටයුතු කරයි. කොවිඩ් වසංගත තත්වය පැතිරී යාමත් සමග දුරස්ථ අධ්‍යාපන පහසුකම ලබාගැනීම අරමුණු කරගෙන ස්මාට් ජංගම දුරකථනයක් (smart phone) දරුවෙකු අතට ඉතාම පහසුවෙන් ලැබේ. දරුවෙක් නිතැතින්ම කුතුහලයෙන් යුතුව නව ලෝකය සොයා යෑමේ පිපාසාවෙන් පෙලෙන්නෙකි. එනිසා දරුවන්ට හරි වැරැද්ද වටහා දීමට වැඩිහිටි මාර්ගෝපදේශයක් අත්‍යාවශ්‍යම වෙයි. එසේ නොමැතිව කටයුතු කරන සමහර දරුවන් අන්තර්ජාලය හරහා ඔවුන්ට නුසුදුසු දර්ශන නැරඹීම¸ නුසුදුසු ආකාරයේ සංවාද කියවීම¸ ඒවාට සවන්දීම නිසා ඔවුන් විසින් නොදැනුවත්වම ඔවුන්ගේ ළමා මනස අපයෝජනයට ලක්කර ගැනීම ඉතාම අභාග්‍ය සම්පන්න තත්වයකි. එමෙන්ම දුරකථන සහ පරිගණකවලින් අධ්‍යාපනය ලබන කාලයට අමතරව දීර්ඝ කාලයක් අනවශ්‍ය ලෙස ඒ්වාගේ නිරත වීම නිසා දරුවන්ට සෞඛ්‍යය ගැටලු පැනනැගීම ද ඇඳිරිනීති සමය තුල වැඩිවී ඇත.

රට වසා දමීමත් සමග වැඩිහිටියන් මෙන්ම දරුවන්ද නිවෙස් තුලටම සීමාවීම නිසා දරුවන්ට තම සමවයස් මිත්‍රයන් සමග එකට එකතු වීමේ වටිනා අවස්ථාව අහිමිවෙයි. දරුවෙකු මානුෂීය සම්බන්ධතා වටහාගැනීමට¸ සමවයස් මිතුරු කැල සමග එකට එක්ව සිදුකරන ක්‍රියාකාරකම් ඉතා වැදගත් වේ. පාසල් අධ්‍යාපනයට අමතරව පාසලෙන් ලැබෙන විෂය බාහිර ක්‍රියාකාරකම්වල සහ ක්‍රීඩාවල නිරතවීමට දරුවන්ට නොහැකිවී ඇත.

දරුවෙකු නිවස තුලදී ශාරීරිකව¸ මානසිකව හෝ ලිංගිකව අපයෝජනට ලක් වූ බොහෝ විට දරුවන් තමන් වැඩිපුරම විශ්වාස කරන ගුරුවරයෙකුට තම ගැටළුව ඉදිරිපත් කරන අවස්ථා ඇත. ඇඳිරි නීතියත් සමග දරුවන්ට ගුරුවරුන්ගෙන්¸ උපදේශකවරුන්ගෙන්¸ ළමා සුබසාධක සේවකයන්¸ වෛද්‍යවරුන්ගෙන් සහය පැතීමේ අවස්ථාව අහිමි වී ඇත. ප්‍රජා සහය නොලැබෙන මෙවැනි තත්වයකදී ළමා අපයෝජනයට එරෙහිව හඬක් නැගීමට නොහැකිවීම තුළ විශාල වශයෙන් අසරණ වන්නේ දරුවන්ය.

ඇඳිරිනීති සමය තුළ දරුවෙකුට සිදුවුණු කුමන ආකාරයක හෝ අපයෝජන ක්‍රියාවන් පිළිබද 1929 අංකය ඔස්සේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන දුරකථන සේවය මගින් දැනුම්දිය හැක. එමෙන්ම දරුවන් යනු ඉතා කුඩා වෙනසකට පවා සංවේදි වන හරි අපූරු සියුමැලි සිතැත්තන් පිරිසකි. මාපියන්ගෙන් හෝ ඔවුන් ආදරය කරන අයගෙන් ඔවුන් මත සිදුවන සුළු වෙනසකින් පවා ඔවුන්ගේ ළමා මනස තුල මහා පෙරලියක් සිදුවිය හැකියි. මෙනිසා කොවිඩ් කාලය තුළ පමණක් නොව ඉන් පසුවත් ඔවුන් සමග මනා සංයමයකින් යුක්තව¸ මානසිකව හෝ ශාරීරිකව බලපෑමක් නොවන පරිදි කටයුතු කරමින් දරුවන් සමග ගුණාත්මක කාලයක් ගත කිරීමට වගබලා ගැනීම පවුලේ වැඩිහිටියන්ගේ වගකීමයි. මෙමගින් කුඩාකල හිංසාවලට ගොදුරු නොවීමේ වාසනාවත් සමග දරුවෙකුගේ අනාගතය දීප්තිමත් කිරීමට හැකිවනු ඇත.

  1. https://resourcecentre.savethechildren.net/library/hidden-impact-covid-19-children-global-research-series
  2. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC7576334/
  3. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC7472978/#:~:text=Although%20rates%20of%20reported%20child,prior%20to%20the%20pandemic%20and
  4. https://www.unicef.org/srilanka/press-releases/unicef-and-ncpa-gravely-concerned-increase-proportion-child-cruelty-cases-reported

Leave a Comment

Your email address will not be published. Required fields are marked *