දේදුන්නට පාට අහිමි කරන තටු සිදුණු සමනලුන්; වින්දිතයන් අපයෝජකයන්ට පෙරළන විෂම අපයෝජන චක්‍රය

written by Hansana Priyan

දස මසක් පුරාවට මව්කුස තුළ උණුසුම විඳිමින් වැඩි, සිත්තුල සුළු යම්වූත් කහටකින් තොරව මෙලොව එළිය දකින මල් කැකුළුවන් සිඟිත්තන් සියලු දෙනාටම ඔවුන්ගේ සුන්දර ළමා කාලය තමන්ගේ පිරිසිදු සිත් දූෂ්‍ය කොට නොගෙන ගත කරන්නට ලැබෙනවාද? එහෙත් අප නෑසූ කන් ව සිටින සත්‍යනම් සමහර දරු පැටවුන් පූදින්නටත් පෙරම ඔවුන්ගේ මල් පෙති තලා සිත් දූෂ්‍ය කොට දැනුවත්ව හෝ නොදැනුවත්ව අපයෝජනයට සහ හිංසනයට ලක්වන සමාජයක අප ජීවත් වන බවයි. එසේ සිත්තුල අනාරක්ෂිත බව සහ නොවටිනා බව පැළපදියම් වූ, මනුෂ්‍යත්වය කෙරෙහි ඇති විශ්වාසය බිඳී ගිය මනසක් හෙට දිනට කෙසේ මුහුණ දෙනු ඇත්ද? විෂ කැවුණු මනසින්, බිඳී ගිය හදවතින්, තිමිර පටලයන් ගෙන් වෙලුන දෑසින් යුතුව වැඩිහිටි වියට පා තබන එම දරුවන් හට නිසි රැකවරණය, මගපෙන්වීම සහ ආදරය නොලැබුණහොත් ඔවුන් ද අවසානයේ තම දරුවන්ව මෙන්ම ඊළඟ ළමා පරපුර ද අපයෝජනයට ලක් කරන, හිංසනයට ලක්කරන හෝ නොසලකා හරින තත්ත්වයට නිතැනින්ම පත් වේ. මෙසේ එක් පරපුරකින් තවත් පරපුරකට දායාද දෙන්නා සේ චක්‍රීයව සිදුවන විෂම අපයෝජන චක්‍රයක් නිර්මාණය වේ.

එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට මෙම ළමා අපයෝජන ක්‍රියාවලිය විෂම චක්‍රයක් ලෙස නොනැවතී ගමන් කරන අයුරු විද්‍යාත්මක අධ්‍යනය කිරීමෙන් එහි ස්වභාවය, රුකුල් දෙන සාධක මෙන්ම මෙම චක්‍රය බිඳ හෙළීමට ගතහැකි ක්‍රියාමාර්ග වැනි දේ හඳුනාගෙන ඇත. මේ පිළිබඳව තවදුරටත් විස්තරාත්මකව ගවේෂණය කිරීමක් මේ ලිපිය තුළින් සිදුවේ. කුඩා කල ළමා අපයෝජනයට මුහුණ දුන් දරුවන් හෝ නොසලකා හැරීමට ලක්වූ දරුවන් හෝ තම දෙමාපියන් අතර ඇති අඩදබර ආරවුල් අතරට මැදිවූ දරුවන් අතින් ඔවුන් වැඩිවියට පත්වූ පසු තම දරුවන් හෝ වෙනත් දරුවන් අපයෝජනයට ලක්කිරීම, නොසලකා හැරීම හෝ තම සහකරු හෝ සහකාරිය වෙත ප්‍රචණ්ඩත්වය මුදා හැරීම, සරලව මෙම විෂම අපයෝජන චක්‍රය ලෙස හඳුන්වා දිය හැකිය. කුඩා කල අපයෝජනයට ලක් වන දරුවන් සියල්ලන්ම වැඩිහිටි වියට පා තැබූ විට අපයෝජකයන් බවට පත් නොවූවද අධ්‍යනයන් වලට අනුව එලෙස අපයෝජකයන් වන ප්‍රතිශතය 30%ට ආසන්න බව නිර්ණය කර ඇත. මේ අනුව සැලකිය යුතු පිරිසක් මෙම චක්‍රයට ගොදුරු වන බව පෙනේ. මෙහිදී වඩාත්ම වැදගත් කරුණ වනුයේ එම චක්‍රයට හසුවන ප්‍රමාණය විවිධ ක්‍රියාමාර්ග මගින් අඩු කරගත හැකි වීමයි.

කුඩා කලදී ප්‍රචණ්ඩත්වය අත්දකින සහ අපයෝජනයට ලක් වන දරුවන් වැඩිවියට පත්වූ පසු එම පීඩනය සමාජය කෙරෙහි, තමා කෙරෙහි සහ තම සමීපතමයන් කෙරෙහි විවිධාකාරයෙන් මුදා හැරිය හැකි බව හඳුනා ගෙන ඇත. මෙහිදී කල්ලි කණ්ඩායම් ආකාරයෙන් සිදු කරන සමාජ විරෝධී ක්‍රියා සමාජය කෙරෙහි යොමු කරන ප්‍රචණ්ඩත්වය ලෙස දැක්විය හැකිය. තමා කෙරෙහි ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට සියදිවි නසා ගැනීම, සිය ගෙල සිර කර ගැනීම සහ තමන්ව කපා ගැනීම මෙන්ම ගණිකා වෘත්තීයේ යෙදීම වැනි ක්‍රියා සිදුකිරීමට තවකෙකු පෙළඹිය හැකිය. මෙහිදී පරම්පරාගතව සහ දරුවන් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් වැදගත් වන්නේ තම සමීපතමයන් වෙත මුදාහරින ප්‍රචණ්ඩත්වයයි. එහිදී ප්‍රචණ්ඩත්වය, තම සහකරු හෝ සහකාරියට එරෙහිව මෙන් ම තම දරුවන් කෙරෙහි ද යොමු විය හැකිය.

මෙලෙස අපයෝජනයට හෝ ප්‍රචණ්ඩත්වයට ලක් වූ දරුවන් අපයෝජකයන් වන්නේ කෙසේද යන පැනයට පිළිතුර මනෝ විද්‍යාත්මක ඇසින් විමසූ විට ඒ සඳහා හේතුවන මනෝවිද්‍යා සිද්ධාන්ත කිහිපයක් හඳුනාගත හැකිය. සමාජ පාලක න්‍යායට (Social Control Theory) අනුව පුද්ගලයින් තුළ ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩත්වය කෙරෙහි නැඹුරුවක් පවතින අතර එය සමාජ සම්බන්ධතා මගින් බැඳදමා උදාසීන කොට ඇත. නමුත් දරුවකු අපයෝජනයට ලක්වූ විට ඔහු තුළ වූ ඒ සමාජ සබඳතා බිඳ වැටී අපයෝජකයෙකු වීමේ සම්භාවිතාව වැඩිවේ. අපයෝජනයට මුහුණ දුන් දරුවන් එම ප්‍රචණ්ඩකාරී අපයෝජන ක්‍රියා ඉගෙන ගැනීමට සහ අනුගමනය කිරීමට, අනුකරණය හා ආදර්ශකරණය මගින් පෙළඹෙයි. මෙය සමාජ ඉගෙනුම් න්‍යාය (Social Learning Theory) ලෙස හැඳින්වෙයි. සමාජ-මානසික පීඩාත්මක න්‍යාය (Social-Psychological Strain Theory) මගින් පැහැදිලි කරන්නේ අපයෝජනයට ලක්වීම තුලින් චර්යාත්මක ගැටළු සහ මොළයේ ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් නිසා දරුවා විසින් සමාජය කෙරෙහි ප්‍රතිචාර දැක්වීමෙන් ස්වභාවය සදාකාලිකව වෙනස් වන බවයි .ඉහත විවිධ මනෝ විද්‍යාත්මක න්‍යායන්ට අනුව අපයෝජනයට ලක්වන ළමයෙකු, අපයෝජකයෙකු වන අයුරු පැහැදිලි වේ.

කුඩාකල අපයෝජනය වීම, නොසලකා හැරීම සහ පවුල තුළ ප්‍රචණ්ඩත්වයට ලක් වීම නිසා දරුවා තුළ හීනමානයක් ගොඩනැගීම, තම සොයුරන් කෙරෙහි ප්‍රචණ්ඩත්වය හැරවීම සහ සමාජ විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වීමද කුඩා කල සිටම දැකගත හැකිය. තවදුරටත් වයසින් මුහුකුරා යන විට සමවයස් කණ්ඩායම් තුළ දී කොන්වීම, පාසල් අධ්‍යාපන කටයුතු අඩාල වීම සහ පාසල් නොයාම වැනි හැසිරීම් ද දැකිය හැකිය. නව යෞවන වියට එළැඹෙන විට සමාජ විරෝධී කණ්ඩායම් සමග අවදානම් සහගත හැසිරීම් හැසිරීමට යොමු වීම සහ අපරාධවලට යොමු වීම පවා සිදුවිය හැකිය. වැඩිහිටි වියට පා තැබූ විට ප්‍රචණ්ඩකාරී ආකල්ප, තම සමීපතමයන් කෙරෙහි ප්‍රචණ්ඩත්වය දිශානත කිරීම හා තම දරුවන් අපයෝජනය කිරීම වැනි දේට යොමු වේ. මෙය පරම්පරාවෙන් පරම්පරාවට නැවත නැවතත් සිදු වීමෙන් නොනවතින විෂම අපයෝජන චක්‍රයක් නිර්මාණය වේ.

මෙම විෂම චක්‍රය නොනැවති සිදු වීමට රුකුල් දෙන සාධක මොනවාද? ඒවා දෙමාපිය සාධක, පවුල් සාධක හා දරුවන් සම්බන්ධ සාධක ලෙස බෙදා දැක්විය හැකිය දෙමාපියන් සාධක යනු දෙමාපියන් තුළ ඇති විශාදය, හීනමානය, මත්ද්‍රව්‍ය භාවිතය, මානසික රෝග සහ ප්‍රචණ්ඩකාරී සහකරුවෙක් සහකරු හෝ සහකාරිය සමඟ විසීම සැලකිය හැකිය. පවුල් සාධක ලෙස දරිද්‍රතාවය, අඩු ආදායම් ලැබීම, සුළු මව හෝ පියා සමඟ ජීවත් වීම සහ සමාජයෙන් ලැබෙන සහාය අඩු වීම වැනි සාධක සැලකිය හැකිය. කුඩා බිළිඳුන් සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වැනි දේ දරුවන් සම්බන්ධ සාධක වේ. චක්‍රයේ පැවැත්මට රුකුල් දෙන සාධක හඳුනාගැනීම වැදගත් වනුයේ එම සාධක අවම කිරීම සහ වැලැක්වීම, චක්‍රය බිඳ දැමීමේ එක් උපායක් බැවිනි.

අවසානයේ අප කාගේත් සිත් තුළ නැගෙන වඩාත් වැදගත් ප්‍රශ්නය වනුයේ මෙම චක්‍රය බිඳ දැමිය හැක්කේ කෙසේද යන්නයි. එහිදී අප හට ගත හැකි ක්‍රියා මාර්ග දෙකකි. එනම් ප්‍රථමයෙන්ම දරුවන් මෙම චක්‍රයට ඇතුළු වීම වැලැක්වීමයි. එනම් දරුවන් අපයෝජනය වන ප්‍රමාණය අවම වන්නේ නම් එම දරුවන් අපයෝජකයන් වීම අවම වේ. අනෙක් කරුණ නම් එම චක්‍රයට දැනටමත් ඇතුළු වූ දරුවන් ඉන් ගලවා ගැනීමයි.මෙහිදී අපට මෙම චක්‍රයේ පැවැත්මට රුකුල් දෙන සාධක ඉවත් කරනවා මෙන්ම ආරක්ෂක සාධක හඳුන්වා දීමට සිදු කළ හැකිය. කුඩා කල අපයෝජනයට ලක්වූ දරුවන් මනෝ උපදේශනයට යොමු කිරීම, දරුවන් සහ දෙමාපියන් තමන්ගේ සීමාව පිළිබඳ අවබෝධ කර ගැනීම කරගැනීම, දරුවන් අනෙක් පුද්ගලයන් ගෙන් ආරක්ෂා කර ගැනීම, දරුවන්ට තමන්ගේ සිරුර ගැන සහ තමන්ගේ අයිතීන් ගැන ඉගැන්වීම සහ අතිශය පීඩාකාරී ශාරීරික දඬුවම් වලට දරුවන් ලක් නොකිරීම වැනි දේ ආරක්ෂාකාරී සාධක වේ. එසේම අධ්‍යනයන් මගින් ආරක්ෂාකාරී, ස්ථායි සහ රැකබලාගන්නා සම්බන්ධතාවයන් තුළ අපයෝජනය වූ දරුවන්ට ආදරය ලැබෙන්නට සැලැස්වීමෙන් ඔවුන් අපයෝජකයන් බවට පත්වන ප්‍රතිශතය අවම වන බව තහවුරු වී ඇත.

මේ සියලු කරුණු කාරණා අධ්‍යයනය කරන විට පරම්පරාගතව සිදුවන විෂම අපයෝජන චක්‍රය ළමා අපයෝජන වැඩිවීමට බලපාන වැදගත් සාධකයක් බව මොනවට පැහැදිලි වේ. ඒ නිසා අපි සියලු සියළු දෙනා එක්ව අපගේ දරුවන් ළමා අපයෝජනයෙන් ගලවා ගැනීමට, මෙම විෂම චක්‍රය බිඳ හෙළීමට ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගැනීමට කැපවීම සඳහා අද පටන් අදිටන් කර ගනිමු.

මූලාශ්‍ර:

  1. United Nations Convention on Rights of the Child, Definition of child abuse or maltreatment.
  2. Child Welfare Information Gateway, Integration Patterns of Child Maltreatment: What the evidence shows.
  3. American Society for the Positive Care of Children, Child Maltreatment Statistics in the U. S.
  4. Thornberry, T., et al, (2013) Breaking the Cycle of Maltreatment: The Role of Safe, Stable and Nurturing Relationships, Journal of Adolescent Health, 53(4 0)
  5. Currie, J. Tekin, E. (2012) Understanding the Cycle: Childhood Maltreatment and Future Crime, Journal of Human Resources, 47(2), 509-549.
  6. Violence and Injury Prevention Programme WHO Regional Office for Europe, The cycles of violence: The relationship between childhood maltreatment and risk of later becoming a victim or perpetrator of violence.
  7. Hartney, E. (2020) Breaking the Cycle of Abuse, verywellmind.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *