පුංචි මල් කැකුළු තැලී පොඩි වන මහත් විපතක වරද කොතැනද?

ළමා අපයෝජන වලට තුඩු දෙන අවධානම් සාධක

Written by: Maheshi Bandara

ළමා අපයෝජනයක් සිදු වන්නේ ළමයා හෝ අපයෝජනය සිදු කරන්නා හෝ මත පදනම් වූ අවදානම් සාධක මත පමණක්මද? නැත. ළමා අපයෝජනය සඳහා තුඩු දෙන අවදානම් සාධක විවිධ පැතිකඩ ඔස්සේ විග්‍රහ කළ හැක. එය හුදෙක් තනි පුද්ගලයෙකුගේ බලපෑමට යටත් නොවූ සමාජ ව්‍යසනයකි. එයට පුද්ගල මට්ටමින්, සමීප සඹඳතා මට්ටමින්, ප්‍රජා මට්ටමින් හා සමාජ සංස්කෘතික මට්ටමින් බලපාන සාධක රැසකි.

පුද්ගල මට්ටම යටතේ දැක්වෙන්නේ අපයෝජනයට ලක්වීමට තුඩු දෙන දරුවන් සතු ලක්ෂණ වේ. පෞරුෂ ආබාධ දරුවෙකු අපයෝජනයට ලක්වීමට හේතුවන වැදගත් අවදානම් සාධකයකි. තමා පිළිබඳ නිසියාකාර අවබෝධයක් නොමැති, තමා අකමැති හෝ නුරුස්නා කටයුතු වලට විරුද්ධත්වය පළ කළ නොහැකි, පෞරුෂය වර්ධනය සඳහා නිසි අවස්ථාවක් නොලද දරුවන් අපයෝජකයින්ගේ ගොදුරු බවට ඉතා පහසුවෙන් පත් විය හැක. එසේම මානසික දුබලතාවයන්ගෙන් පෙලෙන දරුවන්ද ඉතා වැඩි වශයෙන් මෙලෙස අපයෝජනයට ලක් වීමට ඉහළ අවධානමක් පවතී. වින්දිත බව, නොදැනුවත් බව, වින්දිත බවට එරෙහි වීමේ කුසලතාවය මද බව, හැඟීම් පාලනය දුර්වල බව වැනි සාධකද තවත් අවධානම් සාධක කීපයකි. මේ අතරින් අපයෝජන පිළිබඳ දරුවාගේ නොදැනුවත්භාවය ඉතා දරුණු ආයුධයක් බවට පත් කරගැනීමට අපයෝජකයින් ට හැකිවේ. මේ නිසා ළමා අපයෝජන පිළිබඳ නිසි දැනුම දරුවන්ට ලබා දීම කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. පෙර අපයෝජනයට ලක්වූ, අමිහිරි මතකයන් ලද දරුවන් හා අවස්ථානුකූලව ගොඩනැගෙන වෙනත් සාධකද ළමා අපයෝජනවලට දරුවන් ගොදුරු වීමට හේතු සාධක වේ.

සමීප සබඳතා මට්ටම යටතේදී දරුවන් සමඟ සමීප සබඳතා පවත්වන පිරිස් ළමා අපයෝජනවලට දායක වීමට තුඩු දෙන සාධක විමසා බැලෙයි. මෙහිදී දරුවන් වැඩි වශයෙන් රැඳී සිටින පවුල හා බැඳි අවධානම් සාධක ඉතා විශාල වශයෙන් දරුවන් අපයෝජන වලට ගොදුරු වීමට හේතු වේ. බිඳුනු පවුල් පරිසරය, දෙමව්පිය ගැටළු, මව, පියා විදේශගත වීම, තනි දෙමාපිය පවුල් තිබීම යන කරුණු ළමයෙකුට පවුල තුළින් ලැබිය යුතු ආදරය, කරුණාව, දයාව, රැකවරණය සහ අධ්‍යාපනය නොලැබීමට දැඩි වශයෙන් හේතු වේ. මෙම දුර්වල ඇති දැඩි කිරීම්, පවුල හා සම්බන්ධ අනෙකුත් කාරණා එනම් දරිද්‍රතාවය, දැනුම මද බව, අධ්‍යාපනය මද බව, රැකවරණය රහිත බව යන කරුණු සමඟ එක් වූ විට ඇති වන අහිතකර බලපෑම් දරුවන් වැඩි වශයෙන් අපයෝජකයින්ගේ කුරුමානම් බවට පත්වීමට හේතු වේ. මෙලෙස දරුවන්ට හිමි විය යුතු මූලික ළමා අයිතිවාසිකම් පවා අහිමි දරුවන් නිරායාසයෙන් මෙවැනි සමාජ ව්‍යසනවල වින්දිතයන් බවට පත් වේ.

දරුවන් දෙවනුව වැඩි වශයෙන් කල් ගත කරන්නේ පාසල තුළයි. එනම් දරුවන්ගේ රැකවරණය සම්බන්ධව ගුරුවරුන් සතුවද ඉතා විශාල වගකීමක් හා කාර්‍යභාරයක් පැවරී ඇති බව ඉතා පැහැදිලිය. ගුරුවරුන්ගේ දැනුම හා ආකල්ප, ප්‍රචණ්ඩත්වයට තුඩු දෙන ශික්ෂණ ක්‍රම දරුවෙකු අපයෝජනය සඳහා යොමු වීමට තුඩු දෙන වැදගත් සාධක වේ. දරුවන්ගේ සිතුම් පැතුම් හරියාකාරව තේරුම් ගැනීමට අපොහොසත් දරුවන් තුළ අනිසි බිය සැක සංකා උපදවන ගුරුවරුන් බොහෝවිට ළමා අපයෝජන ක්‍රියාවලියට ඍජුව දායක වේ. එසේම අධ්‍යාපන තරඟය හා අධ්‍යාපන ක්‍රමය, ප්‍රතිශක්ති/ චක්‍රලේඛ නොමැති වීම හෝ ඒවා නිසියාකාරව අනුගමනය නොකිරීමද ළමා අපයෝජන වලට තුඩු දෙන අවදානම් සාධක ලෙස හැඳින්විය හැකිය. මෙහිදී පසක් වන කරුණක් නම්, ළමා අපයෝජනය සඳහා තුඩු දෙන අවධානම් සාධක ගුරුවරුන්ට පමණක් නොව, සමස්ථ අධ්‍යාපන ක්‍රමය තුළින්ම ගොඩ නැගීමට ඉඩ ප්‍රස්තා ඇති බවයි.

මීට අමතරව දරුවන්ගේ සමීප ආශ්‍රිතයින් වන සමවයස් කාණ්ඩ තුළ ප්‍රචණ්ඩත්වයේ යෙදෙන මිතුරන් සිටීමද දරුවන් අපයෝජන වලට ගොදුරු වීමට හේතු සාධක විය හැක.

ප්‍රජා මට්ටම තුළින්ද ළමා අපයෝජන වලට දායක වන අවධානම් සාධක හඳුනාගත හැක. ප්‍රජාවගේ නොදැනුවත්භාවය, දරිද්‍රතාවය, විරැකියාව මෙන්ම දර්වල ආයතනික ප්‍රතිපත්ති, වගකිවයුතු නිලධාරීන්ගේ අකාර්‍යක්ෂමතාවය, ළමා වින්දිත රැකවරණ සේවා ප්‍රමාණවත් නොවීම හා අනාරක්ෂිත කලාප බිහිවීම ළමා අපයෝජන ඉහළ යාමට තුඩු දෙන කරුණු ලෙස දැක්විය හැක.

ළමා අපයෝජන පිළිබඳ ප්‍රජාවක නොදැනුවත්භාවය ඉතා දැඩිව මෙම සමාජ ව්‍යසනය උග්‍ර කරලීමට හේතු වේ. සමාජ දැනුවත්භාවය තුළින් ළමා අපයෝජනවල්ට එරෙහිව නැගී සිටීමට මෙන්ම ඊට අවශ්‍ය වන ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පසුබිමද නිර්මාණය වේ. එම නිසා ප්‍රජාවගේ නොදැනුවත්භාවය දුරලීම ඉතා වැදගත් වන බව ඉතා පැහැදිලිය.

සමාජ හා සංස්කෘතික මට්ටම් තුළින් ඇතිවන පීඩනය හා සීමාවන් ද ළමා අපයෝජන ඉහළ යාමට හේතු වේ. සමාජ පාලනය දුර්වල වීම, සමාජය වේගයෙන් වෙනස් වීම, සමාජ දරිද්‍රතාවය, දුර්වල ආර්ථික හා සමාජ ආරක්ෂණ ජාල පැවතීම, ගිහි පැවිදි සුලභ සමාජයක් වීම මෙලෙස බලපාන අවධානම් සාධක කිහිපයකි. එසේම සමාජය තුළ පවතින විවිධ ගැටුම්කාරි අවස්ථාවන්, යුධමය හෝ කලහකාරී අවස්ථා, ආර්ථික විෂමතාවය, නීතියේ ආධිපත්‍ය දුර්වල වීම වැනි සාධක දරුවන්ගේ යහපැවැත්මට අහිතකර ලෙස බලපැවැත්වේ. සමාජයීය සෞඛ්‍යය බිඳවැටී ඇති සමාජයක් තුළ දරුවන් අනාරක්ෂිත වේ. ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට හෝ ඔවුන් රැක ගැනීම වෙනුවට, අපයෝජන වලට ගොදුරු වීම සිදුවේ. මේ නිසා යහපත් සමාජයීය පැවැත්මක් අපයෝජන දුරලීමට බෙහෙවින් අවශ්‍ය වේ.

වවිධ සංස්කෘතීන් සමඟ ජීවත් වීමේදී අදාල සංස්කෘතික ජාලයන් තුළ පවතින විශ්වාස හා සම්ප්‍රදායන් ළමා අපයෝජන වලට තුඩු දිය හැක. ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ වෙනස්කම් සැළකූ විට, ස්ත්‍රී පුරුෂ භාවය අනුව විෂමතාවන් ගැහැණු හෝ පිරිමි දරුවන් වැඩි වශයෙන් අපයෝජනයට ලක්වීමට හේතු සාධක වේ.

මීට අමතරව, අනෙකුත් සමාජ ව්‍යසනයන්ද, ළමා අපයෝජන ඉහළ නැංවීමට හේතු වේ. මත්කුඩු, මත්ද්‍රව්‍ය භාවිතය , සාපරාධී ක්‍රියාවල නියැලීම යන සාධකද ළමා අපයෝජන ඉහළ නැංවීමට ඍජුව දායක වේ.

මේ අනුව පැහැදිලි වන්නේ ළමා අපයෝජන සමාජය තුළ වැඩි වශයෙන් සිදුවීම සඳහා විවිධ පැතිකඩ ඔස්සේ බලපැවැත්වෙන අවදානම් සාධක හේතු වන බවයි. ළමා අපයෝජන ක්‍රියාවලිය විවිධ මාර්ග ඔස්සේ සිදු විය හැක. එම ක්‍රියාවලිවලට තුඩු දෙන අවදානම් සාධක ඉවත් කිරීම මෙම මහත් වූ සමාජ ව්‍යසනය දුරලීමට හේතු වනු ඇත.

http://www.childprotection.gov.lk/?page_id=134

https://www.who.int/news-room/fact-sheets/detail/child-maltreatment

https://www.mayoclinic.org/diseases-conditions/child-abuse/symptoms-causes/syc-20370864#:~:text=Risk%20factors&text=Family%20crisis%20or%20stress%2C%20including,Social%20or%20extended%20family%20isolation

Leave a Comment

Your email address will not be published. Required fields are marked *